උතුරු මැද පලාතේ ස්ථාන කිහිපයකින් අප්‍රකාශිත ශිලාලේඛන සොයා ගැනේ

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමියන්ගේ මූලිකත්වයෙන්, උතුරු මැද පලාතේ 2021/07/25 සහ 26 දෙදින තුළ සිදුකරන ලද කේෂත්‍ර නිරීක්ෂණකයදී අප්‍රකාශිත ශිලා ලිපි කිහිපයක් සොයාගෙන ඇත.

6129bb7a2b5ba843786169.jpg

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා අධ්‍යායනාංශයේ මාහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ උපදේශකත්වය යටතේ සිදුකරන ලද, මෙම කේෂත්‍ර නිරීක්ෂණය සඳහා විශ්‍රාමලත්, කැණීම් හා කෞතුකාගාර නිලධාරී ගාමිණි සමරනායක, බාහිර කථිකාචාර්ය ගම්මහේගේවැව අමිත හිමි, බාහිර කාථිකාචාර්ය නිලංග උදාර ජයරත්න, උපාධි අපේක්ෂක චමෝද් සඳරුවන්, ශාස්ත්‍රපති කුඩාබැඳිගම සුමන හිමි, ශාස්ත්‍රවේදී කිරිඉබ්බන්ආරේ සුගතවිමල හිමි, අලුත්දිවුල්වැව සෝමතිලක හිමි, වැලිගත්තේ මිත්‍රදේව හිමි, උදාර මධුසංඛ මහතා ඇතුළු කණ්ඩායමක් සහභාගී වූහ.

අපගේ අවධානයට යොමු වූ ශිලාලිපි අතුරින් ලිපි දෙකක් ගලෙන්බිඳුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අලුත්දිවුල්වැව ග්‍රාමයට කි.මි 12ක් පමණ ඊශාන දෙසින් නාගස්වැව සහ කටුවාවලගොඩ නමින් හැඳින්වෙන වනගත ප්‍රදේශවල පිහිටා තිබුණි. වන අලි නිතර ගැවෙසෙන ආලංකුලම හා හබරණ රක්ෂිතයට මායිම්ව පිහිටි එම ස්ථානවලට ගමන් කිරීම අතිශයින්ම දුෂ්කරය. අලුත්දිවුල්වැව ග්‍රාමයේ සිට යතුරුපැදිවලින් සහ ට්‍රැක්ටරයක ආධාරයෙන් රක්ෂිතය හරහා වැටී ඇති දුෂ්කර මාර්ගය ඔස්සේ කි.මි 9ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව, තවත් කි.මි. 3ක් පමණ පාගමනින් ගමන් කළ යුතුවේ.

6129bfec734e6152812954.jpg

6129c02e4e81b419992610.jpg

6129c0818c888296147662.jpg

වර්තමානයේ නාගස්වැව නමින් හැඳින්වෙන ස්ථානයේ පිහිටි ලේඛනය ක්‍රි.ව 9-10 සියවසට අයත් ටැම්ලිපියකි. එම ලේඛනය ආලංකුලම රක්ෂිත සීමාවේ අභාවයට ගිය පුරාණ වැව් බැම්ම මත කැබැලි දෙකක් වශයෙන් දැකගත හැකිය. ලිපිය පිහිටි ස්ථානයට ආසන්නව මීටර් 3ක් පමණ ගැඹුරට වලක් කැණ තිබේ. වැව් බැම්ම මත සිටුවා තිබූ ශිලා ටැඹ ගලවා එම ස්ථානයෙහි වටිනා වස්තුව තැම්පත් කර තිබේය යන මිත්‍යා විශ්වාසයෙන් ලිපිය පිහිටුවා තිබු ස්ථානය හාරා විනාශ කරන්නට ඇති බව පෙනේ. තවද එම ලේඛනය ද කොටස් හතරකට කඩා වෙන් කර ඇත. ටැබෙහි ඉහළ සහ පහළ කොටස් මේ වන විට අස්ථානගතය. කොටස් දෙකකින් යුක්ත අක්ෂර සහිත මධ්‍ය සීමාවේ දිග සෙ.මි 110කි. එහි පළල සෙ.මි 16කි. රළු නිමාවක් සහිත මුහුණත් සතරකින් යුක්ත ටැබෙහි මුහුණත් තුනක අක්ෂර පේළි සටහන් කර ඇත. ලිපියෙහි එක් පේළියක් හැර සෙසු පේළි පහසුවෙන් කියවා ගැනීමේ හැකියාව ඇත.

වසර දහසක් පමණ පැරණි මෙම ලේඛනයෙහි රජයේ ප්‍රධාන තීරුබදු නිලධාරි රක්ෂා නැමැති නිලධරයා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අනුමැතිය සහිතව වාගලුව නැමැති ගම්මානයේ පිහිටි ඉඩම් දෙකක බද්ද වැව් බැම්ම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෙදවූ බව කියැවේ. ප්‍රතිසංස්කරණය කරන ලද වැව් බැම්ම මතින් ගවයන් ගෙනයාම තහනම් කරමින් නියෝගයක් පනවා ඇත. එම නියෝග කඩ කිරීම පෙරනාට්ටු (බහිරංග)නිලධාරීයාගේ අණ උල්ලංඝනය කිරීමක් බවද අවධාරණය කර ඇත. ඒ අනුව මෙම ශිලා ලේඛනය කරුණු කිහිපයක් නිසා විශේෂ වේ. පුරාණ වැව් බැමි රක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ කරුණු අනාවරණය වීම ඒ අතර ප්‍රධානවේ. දැනට ශ්‍රී ලංකාවෙන් හමු වී ඇති සෙල්ලිපි අතුරින් වැව් බැම්ම මතින් ගවයන් ගෙන යාම තහනම් කොට නීතිපනවා ඇති එකම ශිලාලේඛනය ද මෙය වේ. තවද ක්‍රි.ව 9-10 සියවසට ගැනෙන මෙම ලිපියෙහි සඳහන් පෙරනාට්ටු හෙවත් බහිරංග නැමැති රාජ්‍ය නිලධරයා වාරි කර්මාන්තය හා සම්බන්ධ නිලධාරියෙකු ලෙස අනුමාන කළ හැකි වීමද විශේෂ ලක්ෂණයකි.

නාගස්වැව ටැම් ලිපිය පිහිටි ස්ථානයට ගිණිකොන දෙසින් කි.මි 5ක් පමණ දුරින් හබරණ රක්ෂිතයෙහි කටුවාවලගොඩ ප්‍රදේශයේ නටබුන්ව පවතින බෞද්ධ උරුම පරිශ්‍රයක තවත් පුවරු ලිපියක් කෙරෙහි අපගේ අවධානය යොමු වූහ. දිග සෙ.මි 124කින් හා පළල සෙ.මි 40 යුක්ත එම පුවරුවෙහි ඝණකම සෙ.මි 40කි. මනා නිමාවකින් යුක්ත එම පුවරුවෙහි ඉහළ කොටස විමානාකාර සැරසිලි සහිතය. අක්ෂර ලක්ෂණවලට අනුව එම ලේඛනය පොළොන්නරුව යුගයේ රචනා කරන ලද දමිළ පුවරු ලිපියකි. කලාන්තරයක් තිස්සේ පරිසරයට නිරාවරණය වීම හේතුවෙන් එම ලිපිය කියවා ගත නොහැකි ආකාරයට අක්ෂර ගෙවී ගොස් ඇත.

6129bc1cb41f2521362026 (1).jpg

6129bf373d74f626769744.jpg

අනුරාධපුර දිස්ත්‍රිකයේ රඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ 93 තුලාන ග්‍රාම නිලධාරී වසමෙහි නීරාවිය නයිපෙනගල නැමැති ස්ථානයෙන් වසර 1700ක් පමණ පැරණි තවත් ගිරිලිපියක් සොයා ගැනීමට හැකිවිය. ක්‍රි.ව 02 සහ 03 සියවසට අයත් පේළි හතරකින් යුක්ත එම ශිලා ලිපියෙහි රතිපොඩමන ගමෙහි වාසය කරන චූනක නම් අමාත්‍යවරයකු ස්තූපයකට ලබා දුන් කිසියම් දීමනාවක් පිළිබඳව කියැවේ. ලිපිය පිහිටුවා ඇති ස්ථානයට දකුණු දිශාවෙන් මීටර් 20ක් පමණ දුරින් පර්වතය මත ඉදිකරන ලද ස්තූපයක සාධක වේ. බොහෝ විට ලේඛනයෙහි කියැවෙන දීමනාව පර්වතය මත ඉදිකර තිබූ ස්තුපයට දෙන ලද්දක් විය හැකිය. කෙසේ නමුත් ලිපියෙහි අක්ෂරවල දක්නට ලැබෙන විෂමතාව නිසාත් ඇතැම් අක්ෂරගෙවී යාමට ලක්ව ඇති නිසාත් ලබාදී ඇති දීමනාව පිළිබඳ පැහැදිලිද අහසක් ලබා ගැනීමේ හැකියාව නැත.

6129bf903332d262130256.jpg

6129bc530f409881817695.jpg

මෙම ශිලා ලිපි පිළිබඳ අපව දැනුවත් කිරීමෙන් හා මඟ පෙන්වීමෙන් සහාය දැක්වූ සංවර්ධන නිලධාරී එච්.එම්.එස්. හේමන්ත මහතා සහ අලුත්දිවුල්වැව ග්‍රාමයේ පදිංචි සාලින්ද ලක්ෂාන්, අෂාන් මදුරංග, බංදුල වීරසූරිය, ලසිත විතාන, කසුන් මදුසංඛ, චානුක නවීන්, අකිල කේෂාන්, ගයාන් සපුමල් සහ වජිර රණසිංහ ඇතුළු කණ්ඩායමට ගෞරවයෙන් ස්තූතිය පුද කරමි. තවද මෙම කේෂ්ත්‍ර නිරීක්ෂණය සඳහා අවසරය සහ අනුමැතිය ලබා දුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහත්මා සහ අභිලේඛන හා තාක්ෂණ විද්‍යා අංශයේ අධ්‍යක්ෂ නාමල් කොඩිතුවක්කු මහතා ගෞරවයෙන් සිහිපත් කරමි.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය බැරගම සද්ධානන්ද හිමි

අංශාධිපති පුරාවිද්‍යා අධ්‍යායනාංශය

Posted in News on Aug 28, 2021

Upcoming Events

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Oct

08

08 Oct - 22 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

08

08 Oct - 16 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - repeat students (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

02

02 Oct - 10 Oct
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - november-december 2025
2024/2025 අධ්‍යයන වර්ෂයේ පළම...

Sep

23

23 Sep - 15 Oct
දේශන කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2022-2023
2022/2023 ශාස්ත්‍රවේදී (සාමා...

Sep

10

10 Sep - 01 Oct
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව/ registration for examinations and seminar-master of arts degree examination-2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results