ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය: තර්ජන, අභියෝග හා අනාගතය
අනුරාධපුර රාජධානි සමයේ පටන් වරින් වර විවිධ මුහුණුවරින් ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමයට තර්ජන එල්ල වූ ආකාරය මෙරට වංසකතා සාහිත්‍යයේ සටහන්ව තිබේ. ඒ සැම අවස්ථාවක ම පාහේ රාජ්‍ය පාලකයන්, භික්ෂූන් වහන්සේ හා ජනතාව එක්ව ඒවාට එරෙහිව නැගී සිටිමින් ශාසනයේ පැවැත්ම තහවුරු කිරීමට කටයුතු කළහ. මේ තර්ජන හා අභියෝග ඉකුත් දශක කිහිපය තුළ නව මුහුණුවරින් වඩාත් සංවිධිතව හා උපායශීලී ලෙස නැවත මතුවෙමින් පවතින ආකාරය හඳුනාගත හැකි විය. ශාස්ත්‍රීය හා අශාස්ත්‍රීය වශයෙන් ඒවා දෙකොටසකට බෙදි හැකි වෙයි. මේ විනාශකාරී කටයුතු නිර්මාණය කරන්නන් ඇතැම් විට බාහිර පුද්ගල කණ්ඩායම් ය. ඇතැම් විට බාහිර පුද්ගලයන් විසින් හසුරුවනු ලබමින් මහා සංස්කෘතිය අභ්‍යන්තරයේ හැසිරෙන්නන් ය. එබැවින් බෞද්ධ උරුමයට ඇති වෙමින් පවත්නා තර්ජන හා අභියෝග පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම විද්වත් කණ්ඩායම්වල ප්‍රබල වගකීමක් වෙයි. බොහෝ දෙනාගෙන් මග හැරුණු එකී වගකීමට උරදෙමින් මෙරට විශ්වවිද්‍යාල ඉතිහාසයේ පළමුවරට ‘ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය: තර්ජන අභියෝග හා අනාගතය’ මැයෙන් ශාස්ත්‍රිය සම්මන්ත්‍රණයක් ඉකුත් මස 24වන දින දවස පුරා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවි්‍යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. ඊට මූලිකත්වය ගෙන කටයුතු කරන ලද්දේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවි්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශය සහ Archaeology.lk වෙබ් අඩවිය යි
දිවයිනේ නන් දෙසින් පැමිණි, විවිධ ආයතනවලට අනුබද්ධ හාරසියයකට අධික ගිහි පැවිදි පිරිසක් අභිමුව මුළු දුන් මෙම ඓතිහාසික සම්මන්ත්‍රණයේ මුඛ්‍ය දේශනය ආචාර්ය ගාමිණී විජේසූරිය විසින් පවත්වන ලදි. ඒ, බෞද්ධ උරුම සංරක්ෂණය උදෙසා අපගේ කාර්යභාරය යන තේමාව යටතේ ය. වසර දහස් ගණනක් මුළුල්ලේ සැදැහැති බෞද්ධ ජනයා විසින් ගොඩනංවා පවත්වාගෙන එන ලදුව වර්තමානයේ හුදෙක් පුරාවිද්‍යා ස්මාරක ලෙස ආන්තිකකරණය කරමින් පවතින උරුමයේ ඛේදනීය පැවැත්ම එහි දී අවධානයට ලක් කෙරිණි. අපගේ උරුමය දෙස ගල් ගඩොල් ලෙස පමණක් නොබැලිය යුතු බවත්, එහි පවත්නා අධ්‍යාත්මික ජීව ගුණය ද සංරක්ෂණය කළ යුතු බවත් ආචාර්ය විජේසූරිය විසින් අවධාරණය කරන ලදි. ජනතාව හා උරුමය අතර පවත්නා අවියෝජනීය සම්බන්ධතාව ඉදිරියට ගෙන යාමට ගුණාත්මක දත්ත පදනම මත ඇති කෙරෙන පරිපූර්ණ නිමාව වැදගත්වන ආකාරය මේ දේශනයෙන් මනාව පැහැදිලි කෙරිණි.
මෙරටින් බිහිවූ කීර්තිමත් වාස්තුවිද්‍යාඥයකු වන මහාචාර්ය නිමල් ද සිල්වා ශ්‍රී ලාංකේය බෞද්ධ උරුමය රැක ගැනීම පිණිස අවධානය යොමු කළ යුතු පැතිකඩ සම්බන්ධයෙන් සභාවේ අවධානය යොමු කරවී ය. බෞද්ධ උරුමයේ ගෙඩනැගීම පිණිස සිංහල භාෂාව උපකාර වී ඇති අන්දම ඔහුගේ විග්‍රහයට ලක් විය. භාෂාව රැක ගැනීමෙන් තොරව අපගේ උරුමය අනාගතයට සන්නිවේදනය කිරීම නිෂ්ඵල ප්‍රයත්නයක් වෙයි. විශේෂයෙන් අපගේ චින්තනය ගොඩනැංවී ඇත්තේ ආගම හා භාෂාව යන මේ අංශද්වයෙහි ම එකතුවෙනි. එබැවින් සිංහල බෞද්ධ චින්තනය ආරක්ෂා කර ගැනීම ලාංකේය බෞද්ධ උරුමය ආරක්ෂා කර ගැනීමේ පදනම වෙයි. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවි්‍යාලයේ සංස්කෘත අධ්‍යයන අංශයේ වර්තමාන අංශාධිපති ආචාර්ය මාවතගම පේමානන්ද හිමියෝ ශ්‍රී ලාංකේය බෞද්ධ මූලාශ්‍රයගත ධර්ම විකෘතිකරණය පිළිබඳ සාරගර්භ දෙසුමක් පැවැත්වූහ. පාලි භාෂාවේ වාග්විද්‍යාත්මක පදනම, ව්‍යාකරණ පදනම මෙන් ම සන්දර්භීය පදනම ද නොසලකා හරිමින්, හුදෙක් හිතලු අර්ථකථන සම්පාදනය කරමින් සිදු කරන මහා ධර්ම විකෘතිකරණය ඉන් අනාවරණය කෙරිණි. මේ තත්ත්වය මහාවිහාරීය ථේරවාද සම්ප්‍රදාය විසින් පවත්වාගෙන එන ලද අට්ඨකතා සම්ප්‍රදායට මුලුවනින් ම පටහැනි එකක් බවත් නව සාවද්‍ය අර්ථකථන ඔස්සේ ත්‍රිපිටක ධර්මය බරපතළ ලෙස සාවද්‍යකරණයට ලක් කෙරෙන බවත් උන්වහන්සේ විසින් සනිදර්ශනව ගෙනහැර දක්වන ලදි,
වර්තමානයේ ඇති වී තිබෙන ප්‍රබල තර්ජනයක් නම් බෞද්ධ උරුම ස්ථානවල අනන්‍යතා විකෘතිකරණයයි. විශේෂයෙන් රාවණ මතධාරී කණ්ඩායම් විසින් හා ලංකාව බුදුන් උපන් භූමිය ය යන මතය ව්‍යාප්ත කරන කණ්ඩායම් විසින් මේ උරුම විකෘතිකරණය සිදු කරනු ලැබේ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ආචාර්ය ඉෂංඛ මල්සිරි සිය දේශනයෙන් ඒ පිළිබඳ අවධානය යොමු කරමින් බෞද්ධ උරුම විකෘතිකරණයේ ස්වභාවය, එහි භාවිතය හා ඉන් සිදුවිය හැකි හානාකර තත්ත්ව පිළිබඳ නිදර්ශන සහිතව කරුණු පැහැදිලි කළේ ය. උරුම ක්ෂේත්‍රවල අනන්‍යතා විකෘති කිරීම සක්‍රීය හා අක්‍රීය යන දෙයාකාරයෙන් වන බව පෙන්වා දෙන ලද අතර, ඇතැම් පුරාවිද්‍යාඥයන් ශික්ෂණයෙන් තොරව කටයුතු කිරීම, සබුද්ධිමත්බවින් තොර දේශපාලන ක්‍රියාකාරකම්, ආර්ථික ප්‍රතිලාභ මුල් කර ගත් සාවද්‍ය ප්‍රවාද කෙරෙහි පදනම් වන සංචාරක ව්‍යාපෘති, පුරාවිද්‍යා දත්ත නොසලකා හැරීම මෙන් ම ඇතැම් විට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අක්‍රීය ස්වභාවය ද මෙවැනි විකෘතිකරණ සිදු වීම කෙරෙහි ධනාත්මකව බලපාන බව ආචාර්ය ඉෂංඛ මල්සිරි විසින් අනාවරණය කරන ලදි. යම් ක්ෂේත්‍රයක් සාවද්‍ය ලෙස අර්ථකථනය කිරීම පුරාවස්තු කෙළෙසීමක් ලෙස නිර්වචනය විය යුතු බවත්, සාවද්‍ය හඳුන්වාදීමකින් එම ක්ෂේත්‍රයේ පුරාවස්තු ද අගතියට පත් වන බවත් ඔහු අවධාරණය කළේ ය.
පුරාවිද්‍යා අධ්‍යයන අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි, ගවේෂණ නිලධාරී ටී. එම්. සී. බණ්ඩාර හා ගවේෂණ නිලධාරිනී උදේනි වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කරන ලද දේශනයෙන් මෙරට බෞද්ධ පුරාවස්තු විනාශයේ විවිධ මුහුණුවර පෙන්වා දීම පිණිස උත්සහ කෙරිණි. මිථ්‍යා විශ්වාස, වාණිජ අරමුණු, ආගමික අන්තවාදී අදහස්, සංවිධානාත්මක ක්‍රියා, නොදැනුවත්කම වැනි විවිධ හේතු නිසා මේ විනාශකාරි කටයුතු සිදු වෙමින් පවතී. විශේෂයෙන් පසුගිය වසර දහයක පමණ කාලය තුළ අනවසර කැණීම් සංඛ්‍යාත්මකව ඉහළ යාමක් පෙන්නුම් කරන බව සද්ධානන්ද හිමියෝ දත්ත ලේඛන මගින් පෙන්වා දුන්හ. වෙනත් ජනවර්ග පමණක් නොව ඇතැම් සිංහල බෞද්ධයන් ද මේ හානිකර තත්ත්වවලට වගකිව යුතු බවත්, මේ හානි අවම කිරීම පිණිස කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතුව පවතින බවත් උන්වහන්සේගේ දෙසුමෙන් කියැවිණි.
පේරාදෙණි විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන සිය දේශනයෙන් අවධානය යොමු කළේ මෙරට බෞද්ධ උරුමයේ ප්‍රභවය හා පැවැත්ම කෙරෙහි මහාවිහාරීය සම්ප්‍රදායේ දායකත්වය පිළිබඳවයි. දකුණු බුදුදහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් ලංකාව දරන වැදගත්කම පැහැදිලි කළ එතුමා මෙරට උරුමය ශ්‍රද්ධාව මුල්කොටගෙන ඇති වූවක් බවත්, පැරණි ඉදිකිරිම් නටබුන් ලෙස පවත්වා ගැනීම දේශීය සම්ප්‍රදාය නොවන බවත් ප්‍රකාශ කළේ ය. නටබුන් විහාරාංග පිළිසකර කිරීම විනය හා පුණ්‍ය සංකල්පය සමග බද්ධව ඇති ආකාරය චුල්ලවග්ගපාලි හා අපදාන පාලි වැනි මූලාශ්‍රය ඇසුරින් පැහැදිලි කළ අතර, වර්තමානිකයන් ද ඒ සම්ප්‍රදාය ගරු කළ යුතු බවත්, අවාසනාවකට මෙන් වර්තමාන සංරක්ෂණ ක්‍රමවේදය ඉන් පරිබාහිරව ගොස් ඇති බවත් ඉන් කියැවිණි. ජාතියක් විසින් ආරක්ෂා කළ උරුමයක් දෙපාර්තමේන්තුවකට තනිව රැකගත නොහැකි බැවින් අපගේ උරුමය නැවතත් දේශීයයන්ට භාර දිය යුතු බව මේ දෙසුමේ තවත් අදහසක් විය. අවසන් දේශනය පවත්වන ලද්දේ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල විසිනි. ඔහුගේ දේශනයට පදනම් වූයේ ‘ශ්‍රී ලාංකේය වර්තමාන සංස්කෘතික උරුම සංරක්ෂණ සංකල්පය හා භාවිතය : ජාතිකවාදි දැක්මක්’ යන්නයි. අපගේ ඓතිහාසික උරුම සංරක්ෂණ සංකල්පය පැහැදිලි කළ එතුමා එය නැවත ගොඩනගමින් පවත්වා ගැනීම මුල් කර ගත්තක් බව පෙන්වා දුන්නේ ය. වර්තමාන යුරෝපීයමූලික ප්‍රඥප්ති මගින් අපගේ ඒ සම්ප්‍රදාය ආරක්ෂා නොකිරීම ම න්‍යාය විරෝධයකැ යි ද, මෙරට බෞද්ධ උරුමයේ ආරක්ෂාව හා පවත්වාගැනීම නැවතත් සිව්වනක් පිරිසට භාර දිය යුතු යැ යි ද මේ දේශනයෙන් අවධාරණය කෙරිණි.
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගෞරවාර්හ මහෝපාධ්‍යයායයන් වහන්සේගේත්, බෞද්ධ අධ්‍යයන පීඨාධිපතිතුමාගේත් පූර්ණ ආශිර්වාදයෙන් සංවිධානය වූ මෙම සම්මන්ත්‍රණය රැස්ව සිටි පිරිසගේ නොමඳ ප්‍රශංසාවට ලක් විය. පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය මණ්ඩලයේ හා පුරාවිද්‍යා ශිෂ්‍ය සංගමයේ දැඩි කැපකිරීමත්, විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන දේවක මණ්ඩලය විසින් ලබා දෙන ලද මනා සහයෝගයත් එහි සාර්ථකත්වයට ඉවහල් විණි. ්රජය්ැදකදටහගකන වෙබ් අඩවියේ නිලධාරී කණ්ඩායමෙන් මේ සඳහා ලැබුණු සහයෝගය ද සිහිපත් කළ යුත්තකි. ඉදිරි වර්ෂවලදීත් බෞද්ධ උරුමයේ ආරක්ෂාව සම්බන්ධ විවිධ තේමා මුල් කර ගනිමින් මෙම සම්මන්ත්‍රණය සංවිධානය කිරීමට පුරාවිද්‍යා අධ්‍යයන අංශය තීරණය කර තිබේ.
ආචාර්ය ඉෂංඛ මල්සිරි
පුරාවිද්‍යා අධ්‍යයන අංශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
https://www.facebook.com/media/set/?vanity=bpusrilanka&set=a.2233147953497231